Sunday, May 25, 2014

විපුල් ධර්මප්‍රිය ජයසේකර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි...!

ප්‍රවීන ගීත රචයෙකු ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදකයෙකු, වේශ නිරූපන ශිල්පියෙකු පුවත් පත් කලාවේදියෙකු වන විපුල් ධර්මප්‍රිය ජයසේකර හාදයාබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව අතිශය සංවේගයෙන් වාර්තා කරමු.

අද පාන්දර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය සඳහා වාර්තා කර සිටියදී පපුවේ රිදීමක් ඇති වී ඇති අතර ඔහු තම හිතවත් වෛද්‍යවරයෙකුට ඒ බව දුරකථනයෙන් පවසා ඇත. වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ වහාම රෝහලට යන ලෙසයි. පසුව ඔහු රෝහලට යෑමට පිටත්ව යද්දී ඇද වැටී ඇති අතර ඒ බව දුටු අය ඔහුව රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ගෙන යන විටද ඔහු මෙලොව අතහැර ගොස් සිටියේ ය.

මේ වසරේ දී වයස අවුරුදු 50 ට පා තබන විපුල් ධර්මප්‍රිය ජයසේකර අතිශය සාමකාමී, රහසින්වත් වරදක් නොකළ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිනිසෙකි. ඔහු තරම් හොඳ මිනිසෙකු අද ලංකාවේ කලා ක්ෂේත්‍රයේ කිසිවෙක් නැතැයි කීවද ඊට කිසිවෙක් අභියෝග නොකරනු ඇත. ඔහු කවර කලෙකවත් දුම්පානය හෝ මත්පැන් හෝ භාවිතා කර නැත.
තර්ස්ටන් විදුහලේ ආදි සිසුවෙක් වන ඔහු කුඩා කාලයේ සිටම කලාවට නැඹරු වූ අයෙකි. නිවේදනය, ගීත රචනය, වේශ නිරූපනය ඉතා කැපවීමෙන් හැදෑරූ විපුල් ධර්මප්‍රිය ඒ ක්ෂේත්‍ර ත්‍රිත්වයේම ප්‍රවීනත්වයට පත් විය.

විපුල් 80 දශකයේ සිනමා සහ යොවුන් පුවත් පත් කිහිපයකම නිදහස් පුවත් පත් කලාවේදියෙකු ලෙස සේවය කෙළ්ය. පිපුනු මලක හැඩ දෑස සලා, සුළෙඟ් ලෙලෙනා මල් සේ දඟ පා, සඟවන්න එපා හසරැල් ආදිය ඔහු රචනා කළ සිය ගණනක් ගීත අතරින් ජනප්‍රිය වූ ඒවාය. ප්‍රකට සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ වේශ නිරූපන ශිල්පියා වූයේ ඔහුය. බිනරි සහ සුදු බණ්ඩා ඔහු වේෂ නිරූපනය කළ චිත්‍රපට වලින් එකකි. (ලංකාඊනිවුස්)

No comments:

Post a Comment

BBCSinhala